ඇත්තටම ජේසුස් එහෙම කරාද? 1

ඇත්තටම ජේසුස් එහෙම කරාද? 1

" තවද උන්වහන්සේ මේ වචන කියද්දී සමූහයා අතරෙන් එක්තරා ස්ත්‍රියෙක් ශබ්දනගා: ඔබවහන්සේ දැරූ කුසයද ඔබවහන්සේට කිරිදුන් තනද වාසනාවන්තයයි උන්වහන්සේට කීවාය. උන්වහන්සේද කථාකොට: එසේය, ඊට වඩා දෙවියන්වහන්සේගේ වචනය අසා එය පවත්වන්නෝ සැබවින්ම වාසනාවන්තයෝයයි කීසේක. " - (ලූක් 11:27-28)

සමහරු මේ පදය උපයොගි කර ගනිමින් මරිය තුමිය හෙලා දැකීමට හො පහත් කිරීමටද උත්සාහ ගන්න බව වගේ පේන්නේ. ඇත්තටම ජේසුස් එහෙම කරාද?

මොකක්ද මේ කියන්නේ.
එම ස්ත්‍රිය ඔබවහන්සේ දැරූ කුසයද කිරි බිවු තනද වාසනාවන්තයයි පවසනවා. උන්වහන්සේද එසේය කියා එය අනුමත කරනවා. නමුත් උන්වහන්සේ එය වඩාත් පැහැදිලි කරමින් පවසනවා. ඊට වඩා දෙවියන්වහන්සේගේ වචනය අසා එය පවත්වන්නෝ සැබවින්ම වාසනාවන්තයෝයයි කියා.

මොකද මේ ස්ත්‍රිය කතා කරන්නේ භෞතික කාරණාවක් ගැන ජේසුස් වහන්සේ කතා කරනවා භෞතික මෙන්ම අධ්‍යාත්මික කාරණා ගැනත්. එසේනම් ශු. බයිබලය තුල දෙවියන් වහන්සේගේ වචනය අසා කිසිදු විවාදයකින් තොරව එය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ගිය එකම තැනැත්තිය මරිය තුමියයි.

පුත්‍රයා හැටියට ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ සිය මවට ලබා දිය යුතු උපරිම ගෞරවය මේ අවස්ථාවේ ලබාදෙනවා. අර ස්ත්‍රියගේ කතාවේ ඌණ පූර්ණය සම්පූර්ණ කරමින්. අප දන්නවා ශුභාරංචි පොත් පරිශීලනය කරද්දි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමහර කාරණා කෙලින්ම ප්‍රකාශ නොකර එය තේරුම් ගැනීමට සළසන අවස්ථාවන්.
උදාහරණයක් ලෙස අනාචාරයේ හැසිරුණ ස්ත්‍රියගේ සිද්ධියේදී උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ
"ඔවුන් උන්වහන්සේගෙන් අස අසා සිටියදී උන්වහන්සේ කෙලින්වී ඔවුන්ට කථාකොට: නුඹලා අතරෙන් පව් නැත්තා ඈට පළමුකොට ගලක් ගසාවයි කියා," - (යොහන් 8:7)

මෙහිදී නුඹලා හැමෝම පවුකාරයෝ කියා නොකියා පවු නැති තැනැත්තේ පළමු ගල ගසාවයි කියා උන්වහන්සේ ඔවුන්ගේ සැබෑ ස්වරූපය තේරුම් ගන්නට සළස්වනවා.

මටත් ඔබට කාරණාවක් කියන්න තියෙනවා. ඔබලා අතරින් මරිය තුමියට වඩා දෙවියන්වහන්සේගේ වචනය අසා එය පවත්වන්නාවු කෙනෙක්
සිටිනම් පළමු චෝදනාව එල්ල කරත්වා. 

😎