ඇත්තටම ජේසුස් එහෙම කරාද? 2

ඇත්තටම ජේසුස් එහෙම කරාද? 2

" උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ මෑණියොත් මාගේ සහෝදරයොත් කවුරුදැයි කියා, තමන් අවට වාඩිවී උන්නවුන් දෙස වටේට බලා: මෙන්න, මාගේ මෑණියොත් මාගේ සහෝදරයොත්! මක්නිසාද දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන කවරෙක් නුමුත් මාගේ සහෝදරයාත් සහෝදරීත් මෑණියොත්යයි වදාළ සේක. " - (මාර්ක් 3:33-35)

ජේසු මෙම ප්‍රකාශය පිළිබඳවද නොයෙකුත් අර්ථ නිරූපණ අපට අසන්නට ලැබෙනවා. බොහෝ දෙනා මෙම බයිබල් පදය මරිය තුමිය අවතක්සේරු කිරීමට භාවිතා කරන ආකාරය කරයි... ඇත්තටම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය මෑණියන්ගේ මාතෘත්වය අවතක්සේරු කරනවාද?

හොඳින් කියවා බලන්න එම අවස්ථාව බයිබල් කතුවරයා පවසනවා සමූහයක් උන්වහන්සේ වටා සිටියා කියා. ශු. ලූක් තුමා පවසන ආකාරයට සමූහයා නිසා උන්වහන්සේගේ මෑණියන්ට උන්වහන්සේ වෙත ලංවෙන්න වත් ඉඩක් නෑ කියා. මෙවැනි පසුබිමකයි උන්වහන්සේට පණිවිඩය ලැබෙන්නේ උන්වහන්සේගේ මෑණියෝ ඇවිත් ඉන්නවා කියා. කෙසේ වත් උන්වහන්සේට සමූහයා නිසා සිය මෑණියන් වෙත යන්න හැකියාවක් නෑ. ඉතින් උන්වහන්සේ මේ අවස්ථාව පාවිච්චි කරනවා. උන්වහන්සේගේ මෑණියන්ගේ වටිනාකම අනෙක් අයට පෙන්වා දෙන්න.

ඒ නිසා උන්වහන්සේ අහනවා කවුද මගේ මෑණියෝ කවුද මගේ සහොදරයෝ දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන කවරෙක් නුමුත් මාගේ සහෝදරයාත් සහෝදරීත් මෑණියොත්යයි කියා. මොකද මරිය තුමිය ඒ වනවිටත් දෙවියන් වහන්සේගේ කැමැත්තට මුළුමනින්ම යටත් වි ඇයගේ ජීවිතය තුලින් දෙවියන් වහන්සේව මහිමයට පත් කර අවසානයි.

ඒ නිසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නොකියා කියනවා අර ඉන්නෙ මගේ අම්මා මුළුමනින්ම දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරලා මගේ අම්මා විදිහට. ඔබටත් පුළුවන් නම් දෙවියන්වහන්සේ කැමැත්ත ඉෂ්ඨ කරමින් මගේ අම්මා වගේ වෙන්න. පුතෙක් ගේ කටින් මේ වගේ ප්‍රකාශයක් අහන්න ලැබෙනවා නම් ඒ අම්මා කොපමණ භාග්‍යවන්තද කොපමණ ආශීර්වාදත්මකද.

එසේ නම් අපිත් මරිය තුමිය මෙන් ස්වර්ගයෙහි සිටින පියාණන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ඨ කරමින් ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ සහොදරත්වයේ පංගුකාරීත්වය ලබා ගැනීමට උත්සාහ කරමු.